web tracker

අධිකරණයෙන් ඇප ලබා ගැනීම – නීතීඥ අථිල අතාවුද

ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්‍රයෙන් පරිබාහිර පුද්ගලයන්ට අන්ධයන් අලියාගේ හැටි කිව්වාක් මෙන් නිශ්චිත හැඩයකින් යුතුව හදුනාගත හැකි දෙයක් නොවේ. එබැවින් ඇප සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දුර්මත පැතිරී තිබෙනු පෙනේ. මෙම ලිපියේ උත්සාහය එවැනි දුර්මත කිහිපයක් සම්බන්ධයෙන් සැබෑ තත්වය පැහැදිලි කිරීම වේ.

ඇප යනු කුමක්ද?

අධිකරණ කටයුත්තකදී ඇපයක් යනු යම් පුද්ගලයෙකු පසු අවස්ථාවකදී අධිකරණයේ පෙනී සිටින බවට එම පුද්ගලයා විසින් හෝ එකී පුද්ගලයා ඉදිරිපත් කරන බවට වෙනත් පුද්ගලයන් විසින් වන පොරොන්දුවකි. එහිදී අධිකරණය විසින් එම පොරොන්දුව මත විශ්වාසය තබා අධිකරණය භාරයේ සිටින පුද්ගලයෙකු සමාජයට මුදාහැරීම සිදුකරයි.

රක්ෂිත බන්ධනාගාර ගතකිරීමක් යනු කුමක්ද?

යම් පුද්ගලයෙකු ඔහු සම්බන්ධයෙන් ඇති නඩු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ භාරයට පත්කිරීමයි. එය පැහැදිලි ලෙසම වරදකට ලබාදෙන දඩුවමක් නොවන බව අවධාරණය කළ යුතුය. නමුත් සැබෑ ලෙසම රක්ෂිත බන්ධනාගාර ගතකරන පුද්ගලයන් සිටින්නේ සිරගතවය. එසේ හෙයින් බන්ධනාගාර ගතකරන පුද්ගලයාට තමා දඩුවමක් විදින ලද බවට හැගීමක් සහ එකී පුද්ගලයාගේ යම් ක්‍රියාවකින් හානියට පත්වූ අපරාධ වින්දිතයෙකුට තමාට හානි කළ පාර්ශවයට දඩුවමක් දුන්නේය යනුවෙන් හැගීමක් ඇතිවීම නොවැලැක්විය හැකිය.

යම් පුද්ගලයෙකු අපරාධයක් කරන ලද්දේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන්නේද ඇප මත මුදාහරින්නේද යන්න අධිකරණය විසින් තීරණය කරනු ලැබේ.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 1 වන උපලේඛනයේ දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන අපරාධ වැරදි වල ලැයිස්තුවක් ඇත. එම ලැයිස්තුවේ 5 වන තීරයේ අදාළ වරද ඇප දිය හැකි වරදක්ද ඇප දිය නොහැකි වරදක්ද යන්න දක්වා ඇත.

ඇප දිය හැකි වැරදි

මෙයින් අදහස් වන්නේ පුද්ගලයෙකුට අයිතියක් ලෙස ඇප ඉල්ලා සිටිය හැකි වැරදි වේ. මෙවැනි වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන තැනැත්තෙකු පසු අවස්ථාවක පොලිස් ස්ථානයට හෝ අධිකරණයට පැමිණීමට පොරොන්දු වෙමින් අත්සන් කරනු ලබන බැදුම්කරයක් හෙවත් පොලිස් ඇපයක් මත මුදා හැරීමට පොලිස් ස්ථානාධිපතිවරයෙකුට හැකියාව තිබේ.

ඇප දිය හැකි වැරදි සම්බන්ධයෙන් අයිතියක් වශයෙන් ඇප ලබාගැනීමට සැකකරුවෙකුට හැකියාව පවත්නා බව පතිරණ සහ තවත් අය එ ස්ථානාධිපති නිට්ටඹුව පොලීසිය (1988) 1 ශ්‍රීලනීවා 84 නඩු තීන්දුව දක්වයි.

ඇප දිය නොහැකි වැරදි

අපරාධ නඩුවිධාන සංග්‍රහයේ ඉහත කී පළමුවන උපලේඛනයේ පස්වන තීරයේ ඇප දිය නොහැකි වරදක් යනුවෙන් දක්වා ඇත්තේ නම් එවිට අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 403 (2) වගන්තිය සහ ඇප පනතේ 5 වන වගන්තිය අදාළ වේ. 403 (2) වගන්තිය අනුව ඇප දිය නොහැකි වරදකට ඇප නියම කිරීමට මහේස්ත්‍රාත් අධිකරණට බලය පවතී. ඇප පනතේ 5 වන වගන්තිය යටතේ එකී පනතේ 13 වන වගන්තියේ විධිවිධාන වලට යටත්ව එනම් විශේෂයෙන් මහාධිකරණයෙන් ඇප ලබාගත යුතු අවස්ථා වල හැර මහේස්ත්‍රාත් අධිකරණයේ අභිමතය මත ඇප ලබාදීමේ හැකියාව පවත්නා බව දැක්වේ. එනම් **ඇප දිය නොහැකි වැරදි යනුවෙන් හැදින්වෙන්නේ කිසිසේත් ඇප දිය නොහැකි වැරදි නොව අධිකරණය හමුවේ කරුණු දක්වා අධිකරණයේ අභිමතය මත ඇප ලබාගත හැකි වැරදි **වේ.

කරුණු වල බරපතළකම

බොහෝ පාර්ශවයන් අධිකරණය ඇප සළකා බලන අවස්ථාව කුඩා පරිමාණයේ නඩු විභාගයක් ලෙස සළකන බව පෙනේ. එනම් සැකකරුවෙකුට එරෙහිව විමර්ශනයේදී අනාවරණය කරගන්නා ලද කරුණු දක්වා ඒවායේ ඇති බරපතළකම උද්දීපනය කරමින් ඒ මත ඇප ඉල්ලීමක් ප්‍රතික්ශේප කළයුතුය යන මතය සනාථ කිරීමට බොහෝ නඩුවලදී බොහෝ පාර්ශවයන් උත්සාහ දරති. සැබැවින්ම යම් වරදක බරපතළභාවය පිළිබදව සළකා බලන කල ඒ මත පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නැඹුරුවක් ඇතිවිය හැකිය. නමුත් විමර්ශනයේදී අනාවරණය වන කරුණු වලින් බැලු බැල්මට පෙනී යන සදෝෂත්වය හෝ වරදකාරීත්වය ඇප ඉල්ලීමක් ප්‍රතික්ශේප කිරීමට හෝ පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පදනමක් නොවන බව අවධාරණය කළ යුතුය.

බොහෝ අවස්ථාව වලදී දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකු ඇප සළකා බැලීම සදහා අධිකරණය හමුවට පමුණුවන ලද අවස්ථා වලදී පොලීසිය විසින් සැකකරු මුලින්ම අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී තිබුණාටත් වඩා සැකකරුගේ අපරාධෝච්චාරණය කරවන කරුණු පසුව තව තවත් අනාවරණය කරගත්තේ යැයි කියමින් ඒ මත සැකකරුව තවදුරටත් බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටින අවස්ථා හිග නොවේ. එය වැරදි ස්ථාවරකි. සදෝෂත්වය ඔප්පු වීම නඩු විභාගයකදී එකී අනාවරණය කරගත්තේ යැයි කියන කරුණු දිවුරුම් පිට ඉදිරිපත් කරනු ලැබ හරස් ප්‍රශ්න වලටද භාජනය වීමෙන් අනතුරුව තවදුරටත් එකී අනාවරණයන් මත විශ්වාසය තැබිය යුතු යැයි පෙනී යන්නේ නම් පමණක් සිදුවන්නකි.

එසේ හෙයින් පළමු වරට සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ තිබුණාට වඩා සැකකරුගේ සදෝෂත්වය පෝෂණය කරන තවත් කරුණු පසුව අනාවරණය වූයේ යැයි විමර්ශන නිලධාරියෙකු කරන කරුණු දැක්වීම හෝ සැබැවින්ම එවැනි අලුතින් කරගන්නා අනාවරණයන් මත සැකකරුගේ සදෝෂත්වය වැඩි වන බවක් බැලු බැල්මට පෙනී ගියද එය අප රටේ කිසිදු නීතියක් යටතේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව තැබීමට පදනමක් වන්නේ නැත.

අනාවරණය කරගන්නා කරුණු වල බරපතළකම අදාළ වන්නේ එසේ අනාවරණය කරගත් කරුණු මත සැකකරු විසින් සිදු කළා යැයි සැක කරන අපරාධය සදහා ඇප නියම කිරීමට එම අධිකරණයට බලය නොමැති අවස්ථාවකදී සහ අපරාධයේ බරපතළකම හේතුවෙන් මහජන කැළඹීමක් ඇතිවනු ඇතැයි සාධාරණ ලෙස බලාපොරොත්තු විය හැකි අවස්ථාවකදී පමණකි.

වැරදි ගොඩක් එකතු වී බරපතළ වැරැද්දක් සැදෙන්නේ නැත

බොහෝ විට එකම සිදුවීමකදී අපරාධමය වැරදි ගණනාවක් සිදුවන අවස්ථා දක්නට ලැබේ. එනම් පුද්ගලයෙකු බීමතින්, ආරක්ෂක හිස්වැසුම් නොමැතිව, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව, වලංගු ආදායම් බලපත්‍රයක් සහ රක්ෂණ සහතිකයක් නොමැතිව, මෝටර් සයිකලයක් ධාවනය කර පුද්ගලයෙකුගේ ඇගේ හප්පා ඔහුට සුළු තුවාල සිදුකරයි. එවන් අවස්ථාවකදී අනතුර සිදුවන ස්ථානයට රැස්වන දැනමුතු පුද්ගලයන් සහ බොහෝ විට පොලිස් නිලධාරීන්ද එම වැරදි රාශියක් එකට පැවතීම හේතුවෙන් වරදේ බරපතළකම වැඩිවන බව කියමින් පුද්ගලයන් බියගන්වන අවස්ථා දක්නට ලැබේ. මෙයද සම්පූර්ණයෙන්ම සාවද්‍ය ස්ථාවරයකි.

සත්‍ය තත්වය නම් බීමතින් රිය පැදවීම, ආරක්ෂක හිස්වැසුම් නොමැතිව රිය ධාවනය, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, වලංගු ආදායම් බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රක්ෂණ සහතිකයක් නොමැතිව රිය ධාවනය සහ පුද්ගලයෙකුගේ ඇගේ හප්පා ඔහුට සුළු තුවාල සිදුකිරීම එකිනෙකින් ස්වාධීන වෙනස් වැරදි වේ. ඒ එක් එක් වරදට වෙන වෙනම දඩුවම් තිබෙනවා මිස පළමුව සදහන් කළ සියල්ල එකතු වීමෙන් අවසානයේ දැක්වූ සුළු තුවාල කිරීමේ වරදට මිනීමැරුමක ඇති බරපතළකම ආරෝපණය වන්නේ නැත.

ත්‍රාසයට ඇත්තේ සාහිත්‍යමය අගයක් පමණි

එමෙන්ම ඇප සළකා බලන බොහෝ අවස්ථා වලදී අනාවරණය කරගන්නා ලද කරුණු ෂර්ලොක් හෝම්ස් කතාවක මෙන් ලොමු ඩැහැගැන්වෙන පරිදි ත්‍රාස රසය ඉස්මතු වන ආකාරයෙන් අධිකරණයට වාර්තා කිරීමේ ඇත්තේ සාහිත්‍යමය අගයක් පමණි. කතාන්තරය කෙතරම් ත්‍රාසජනක භයානක රසයෙන් අනූන එකක් වුවද අධිකරණයට ඇප සළකා බැලීමේදී තීරණාත්මක වන්නේ කරුණු වාර්තා කරන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ කුමන වගන්තිය යටතේ වරදක් සිදුකරන බවටද යන්න පමණි.

14 ගහපු නිසා ඉවරද?

ඇප දිය හැකි වරදකට හෝ ඇප දිය නොහැකි වරදකට ඇප ලබා දීම අධිකරණය විසින් ප්‍රතික්ශේප කරනු ලබන්නේ නම් එසේ කළ හැක්කේ ඇප පනතේ 14 වැනි වගන්තියේ සදහන් අවස්ථා 4 යටතේ පමණි. එනම්,

14 (අ) 1 යටතේ දක්වන පරිදි සැකකරු අධිකරණයට නොපැමිණ මගහැරීමේ හැකියාවක් පවත්නා බවට සාධාරණ අනුමිතියක් ඇතිකරගත හැකි කාරණා ඉදිරිපත් වීම.

14 (අ) 2 යටතේ දැක්වෙන පරිදි නඩුවේ සාක්ෂිකරුවන් හෝ සාක්ෂි වෙත මැදිහත් වීමේ ඉඩක් සැකකරුට පවතින්නේ යැයි සාධාරණ අනුමිතියක් ඇතිකරගැනීමට සාධාරණ කරුණු ඉදිරිපත් වීම.

14 (අ) 3 යටතේ දැක්වෙන පරිදි ඇප පිට සිටියදී සැකකරු වෙනත් වරදක් සිදුකිරීමේ අවස්ථාවක් ඇති බවට සාධාරණ අනුමිතියක් ඇතිකරගතහැකි කරුණු ඉදිරිපත් වීම.

14 (ආ) වගන්තය දක්වන ආකාරයට ප්‍රශ්නගත සිදුවීම අරභයා මහජන කැළඹීමක් ඇතිවීමේ හැකියාවක් ඇති බවට කරුණු ඉදිරිපත් වීම.

මෙම අවස්ථා හතර සම්බන්ධයෙන්ම කිවයුතු පොදු කරුණ වන්නේ ඒවා සිදුවිය හැකි බවට පොලිස් නිලධාරියෙකුගේ සිතේ ඇති වන හුදු සැකය පමණක් ඇප පනතේ 14 වැනි වගන්තිය යටතේ සළකා බැලීමට ප්‍රමාණවත් නොවන බවයි. මෙම අවස්ථා හතර පිළිබදව හුදු සැක පහළ කරගන්නේ නම් අධිකරණය හමුවට එන සෑම නඩුවක් සම්බන්ධයෙන්ම එසේ සැක සංකා පහළ කල හැකිය. නමුත් ඇප පනතේ 14 වැනි වගන්තිය ඇත්තේ එසේ හුදු සැක සංකා වලට නීතිමය බලයක් ලබාදීමට නොවන බව අවධාරණය කළ යුතුය. එබැවින් පොදු ජනවහරේ පවත්නා “14 ගහපු නිසා ඉවරයි” යන මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. පොලීසිය විසින් අධිකරණය ඉදිරියේ ඇප පනතේ 14 වගන්තිය යටතේ සිදුකරන කරුණු වාර්තා කිරීමක් අභියෝගයට ලක්කිරීමේ හැකියාව සැකකරුගේ නීතිඥයාට හැකියාව ඇත. එසේ සාර්ථකව අභියෝගයට ලක්කර ඇප ලබාගත් අවස්ථා ඕනෑ තරම් ඇත.

පොලීසිය කරන තර්ජන වලංගුද?

බොහෝ අවස්ථා වල ඇප ලබා නොදෙන බවටත් එබැවින් වරද පිළිගන්නා ලෙසටත් පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන්ට සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට පවා තර්ජනය කරන අවස්ථා දක්නට ලැබේ. එය සම්පූර්ණයෙන් අසත්‍ය මවා පෑමක් වනවා පමණක් නොව අධිකරණය සතු බලයක් ව්‍යාජ ලෙස තමාට ඇති බව පෙන්වා අධිකරණයට සිදුකරන අපහාසයකි. එවන් බියගැන්වීම් කරන පොලිස් නිලධාරීන්ට විරුද්ධව පැමිණිලි කිරීමට මහජනතාව නොබියව ඉදිරිපත් විය යුතුය.

ඇප සළකා බැලීම සිදුකරන්නේ අධිකරණය විසිනි. පොලීසියට හැකියාව ඇත්තේ එහිදී එක් පක්ෂයක් වෙනුවෙන් කරුණු දැක්වීමට පමණි. අධිකරණයට කරුණු වාර්තා කරන වගන්තිය මත ඇප සළකා බැලෙන ආකාරය තීරණය කිරීමට පොලීසියට යම් හැකියාවක් තිබුණද එය පවා අධිකරණය ඉදිරියේ අභියෝග කිරීමට හැකියාව ඇත. සාධාරණ පදනමකින් තොරව යම් බරපතළ වගන්තියක් යටතේ කරුණු වාර්තා කර ඇති බව මහේස්ත්‍රාත්වරයාට පෙනී යන්නේ නම් එම කරුණු දැක්වීම නොසළකා ඇප ලබාදීමට පවා මහේස්ත්‍රාත් වරයෙක-ුට බලය ඇත. එබැවින් පොලීසිය විසින් ඇප ලබා දෙන්නම් යැයි දෙන පොරොන්දුවේ හෝ ඇප ගන්න දෙන්නෙ නෑ යැයි කරන තර්ජනයේ හෝ කිසිම වලංගුතාවයක් නොමැත.

කෙළින්ම ඇප දෙන වැරදි සහ දවස් දාහතර දාන වැරදි

එවැනි වැරදි ශ්‍රී ලංකා නීතිය හදුනා නොගනී. මහේස්ත්‍රාත්වරයෙකු විසින් තම අභිමතය පරිදි පුද්ගලයෙකු බන්ධනාගාර ගත කළ හැකි උපරිම කාලය මත එවන් සාවද්‍ය මතයක් සමාජයේ පැතිරී ඇත. එමෙන්ම යමු සිදුවීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති විට ඔහු රෝහලේ නේවාසිකව සිටින තාක්කල් ඇප දෙන්නේ නැත යම් අයෙකු රිය අනතුරකින් මියගිය විට මරණයේ කටයුතු අවසන් වනතුරු හෝ හත් දවසේ දානය දෙනතුරු සැකකරුට ඇප දෙන්නේ නැත යනුවෙන් පැතිරී ඇති මත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව කිව යුතුය.

මෝෂන් වලින් ඇප

“අනේ සර් පුතා දවස් 14කට ගියා සර්. මෝෂන් එකක් දාලාවත් අරන් දෙන්න සර්”
මෙය නීතිඥවරුන් වශයෙන් අපහට අවම වශයෙන් සතියකට දෙවතාවක් වත් අසන්නට ලැබෙන ප්‍රකාශයකි. මෙම ප්‍රකාශයේ තාක්ෂණිකව ගත්කල වරදක් නැතත් එසේ ප්‍රකාශ කරන බොහෝ දෙනා එසේ පවසන්නේ “මෝෂන්” යනු ඇප ප්‍රතික්ෂේප වූ අවස්ථා වලදී භාවිත කළ හැකි “අරුම පුදුම මන්තරයක්” යන දුර්මතයේ සිටිමින් බව පෙනී යන හෙයින් ඒ පිළිබඳව පැහැදිලි කරගතයුතු වේ.

මෝෂන් නොහොත් මෝසමක් නොහොත් යොමුපතක් යනු නඩුවක සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අතිරේකව සිදුකරනු ලබන කාර්යයන් අධිකරණය හා සම්බන්ධ කරන ලියවිල්ලයි . මෝෂන් යන්නෙහි වාච්‍යාර්ථය මීට වෙනස් වන අවස්ථා පැවතියද මෝසමක් යනුවෙන් සාමාන්‍ය ජනයා වටහා ගනු ලබන ලියවිල්ලේ ප්‍රායෝගික අරුත එයයි. නඩුවක් ලබාදී ඇති දිනයට පෙර කැදවා ගැනීම, නඩු වාර්තාවේ පිටපතක් ලබාගැනීම, සාමාන්‍යයෙන් නඩුවට ලබාදී ඇති දිනයකට වෙනස් දිනයකදී නඩු වාර්තාවට යම් ලේඛනයක් ගොණුකිරීම, යම් නඩු භාණ්ඩයක් අධිකරණයට භාරදීම, සැකකරුවකු හෝ චූදිතයෙකු ඉදිරිපත් කිරීම ආදිය මෝසමක් මගින් කළ හැකි වේ. එසේ නොව “ඇප ප්‍රතික්ෂේප වූ නඩුවක පසුවදා මෝසමක් දැමූ පසු ඇප ලැබෙන්නේය” යන්න දුර්මතයකි.

නමුත් එවැනි දුර්මතයක් ඇතිවීමටද හේතුවක් ඇත. නඩුවක සැකකරුවකු ඉදිරිපත් කළ පසුව රටේ පවත්නා ඇප නීතිය යටතේ ඉදිරිපත්වන කරුණු සළකා බලා ඇප ලබාදෙන්නේද ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේද යන්න අධිකරණය තීරණය කරයි. එසේ ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අවස්ථාවකදී, එම සැකකරු සම්බන්ධයෙන් පසුව අනාවරණය වන හෝ එළිදරව් වන යම් වැදගත් කරුණක් වේ නම් අදාළ නඩුව මෝසමක් මගින් නැවත කැදවා අදාළ නව කරුණ ඇතුළුව ඇප ලබාගැනීමට අදාළ අනෙකුත් කරුණු අධිකරණයේ අවධානයට යොමුකර ඇප ලබාගැනීම සදහා ඉල්ලීමක් කළ හැකි වේ. එහිදී කලින් දිනයේදී ඉදිරිපත් වූ කරුණු වලට වඩා මෝසම මගින් ඉදිරිපත් කළ කරුණු වල අදාළ සැකකරුට ඇප නියම කළයුතු වන ආකාරයේ සුවිශේෂී තීරණාත්මක වැදගත්කමක් ඇති බව අධිකරණයට හැගී යන්නේ නම් ඇප නියම කිරීමට අධිකරණය තීරණය කිරීමට ඉඩ ඇත.

අදාළ නඩුව සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් හෝ පුරාවිද්‍යා වාර්තාවක් වැනි ලියවිල්ලක් පැමිණීම, අදාළ සැකකරු එකී අපරාධය නොකළ බවට බලවත් සැකයක් උද්ගතවන කරුණක් විමර්ශනයේදී අනාවරණය වීම යනාදී පෙර කළ නියෝගය නැවත සළකා බැලීමට සිදුවන ආකාරයේ වෙනස් කරුණක් එහිදී ඉදිරිපත් විය යුතුය.
මීට අමතරව පෙර දිනයේදී ඇප ඉල්ලා සිටීමේදී නඩුව සම්බන්ධයෙන් යම් තීරණාත්මක වැදගත්කමක් සහිත කරුණක් එවේලේ නොදැන සිටීම නිසා හෝ අතපසුවීමකින් අධිකරණයේ අවධානයට ලක්කිරීමට නොහැකි වූ අවස්ථා වලදී එම කරුණ අධිකරණයේ අවධානයට යොමුකර ඒ මත ඇප ඉල්ලා සිටීමට හැකියාව ඇත.

එසේ නොමැතිව ඊයේ ඇප ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකරුවකු සම්බන්ධයෙන් අද මෝසමක් ගොණුකර පෙර දිනයේ ඇප ඉල්ලීමේදී කියූ කරුණුම නැවත කියූ පලියට ඇප ලැබෙන්නේ නැත. එය බොහෝවිට පෙර කරුණු මතම නැවත නියෝගය සළකා බලන ලෙස කරන ඉල්ලීමක් වන බැවින් අධිකරණය විෂයෙහි සම් අපහාසාත්මක බලපෑමක්ද ගැබ්වන විනිසුරුවරයා අප්‍රසාදයට පත්වන ක්‍රියාවක් බවටද පත්විය හැක.
එසේ හෙයින් ඇප ප්‍රතික්ෂේප වූ වහාම පසුදින මෝසමක් දැමීම ඇප ලබාගැනීමට හැකි නොවරදින මැජික් එකක් නොවේ. පෙර කියූ කරුණු වලට අමතර යමක් කීමට නොමැති නම් එය බොහෝවිට තමන්ගේද අධිකරණයේද කාලය නාස්ති කරන නිකරුණේ මුදල්ද නාස්ති වන පියවරක් වියහැක.

මතයක එල්බගත් විමර්ශකයෙකුගේ නිර්දය අභිලාසයන්

ඇප යන සංකල්පය බොහෝ විට විනිසුරුතුමන්ලාගේ අභිමතය මත පදනම් වන හෙයින් එහි හැඩය නිශ්චිතව හදුනා ගැනීම කෙනෙකුට අපහසු විය හැකිය. එසේ වුවද එකී අභිමතය භාවිත කළ යුතු ආකරය පිළිබදවද නඩු තීන්දු මගින් මග පෙන්වීම් සිදුකර ඇත.

මෙවැනි අවස්ථා පිළිබදව 2001 (1) ශ්‍රී ලංකා නීති වාර්තා 29 වැනි පිටුවේ වාර්තාගත නඩු තීන්දුවක් වන ඩැනී එදිරිව සිරිනිමල් සිල්වා ස්ථානාධිපති පොලිස් ස්ථානය හලාවත යන නඩු තීන්දුවේ දක්වා ඇති පහත කොටස ඉතාම වැදගත් මෙන්ම රසවත්ද වේ.

“පොලීසිය විසින් ඉල්ලා සිටීම මත පමණක් මහෙස්ත්‍රාත්වරුන් විසින් යාන්ත්‍රිකව රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ නියෝග නිකුත් කිරීම පිළිබදව මාගේ අවධානය මෙහිදී යොමු කළයුතු වේ. මෙහිදී මාගේ සහෝදර ධිරරත්න විනිසුරුතුමන් විසින් 1999 (1) ශ්‍රීලනීවා 372 පිටුවේ වාර්තාගත මහානාම තිලකරත්න එ බන්දුල වික්‍රමසිංහ නඩුවේ මහේස්ත්‍රාත්වරුන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීම හා සම්බන්ධයෙන් දක්වා ඇති වචන උපුටා දැක්වීම වඩාත් උචිත වේ.

මතයක එල්බගත් විමර්ශකයෙකුගේ හෝ පැමිණිල්ලේ නීතිඥවරයෙකුගේ නිර්දය අභිලාසයන් මුදුන් පැමිණවීම සදහා මහේස්ත්‍රාත්වරුන් විසින් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ නියෝග නිකුත් නොකළ යුත්තේය.”
විමර්ශන අවසන් නැති වීම

විමර්ශන කටයුතු තවමත් අවසන් නැති බව කියමින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස පොලිස් නිලධාරීන් ඉල්ලා සිටින අවස්ථා බොහෝය. එහෙත් විමර්ශන අවසන් නොවීම යනු සැකකරුවෙකු රක්ෂණ භාරයට පැමිණවීමට හේතුවක් ලෙස ශ්‍රී ලංකාවේ කිසිදු නීතියක් හදුනා නොගනී. දුරස්ථ වශයෙන් හෝ එය අදාළ වන්නේ ඇප පනතේ 14 වැනි වගන්තියේ සදහන් පරිදි සාක්ෂිකරුවන්ට සහ සාක්ෂි වලට බලපෑම් කිරීමට සැකකරුට අවස්ථාව තිබෙන විටදී පමණි.

විමර්ශන අවසන් නැත්තේයැයි පොලිස් නිලධාරීන් ඇප දීමට විරුද්ධ වන අවස්ථා පිළිබදව අභියාචනාධිකරණය 2013 පෙබරවාරි 06 වැනි දින තීරණය කරන ලද CA (PHC) APN 80/12 දරණ කල්‍යාණි ඇල්විටිගල එ නීතිපති නඩු තීන්දුව ඉතා වැදගත් වේ.

“මෙම නඩුවේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බව රජයේ පාර්ශවය විසින් අධිකරණයට අනාවරණය කරන ලදී. අවිනිශ්චිත කාල සීමාවක් මෙම සැකකරු රක්ෂණ භාරයේ තබා ගැනීම ඔහුට යුක්තිය ඉටුකිරීම ප්‍රතික්ශේප කිරීමකි. රජය විසින් දක්වන ලද කරුණු වලට අනුව පැහැදිලි වන්නේ විමර්ශනය මගින් දැනට අනාවරණය වී ඇති කරුණු මෙම සැකකරුට එරෙහිව චෝදනාව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවන බවයි. එසේ හෙයින් චෝදනාවක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් තරම් සාක්ෂි ලැබෙන තුරු පුද්ගලයෙකු රක්ෂණභාරයේ තබා නොගත යුත්තේය. මෙහිදී රජය විසින් ගතයුතු පළමු පියවර වන්නේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුට විරුද්ධව සාක්ෂි එකතු කරගැනීමට පොලීසිය මෙහෙයැවීමයි”

ඇප සම්බන්ධ නීතිය අධ්‍යනය බොහෝ රසවත් මෙන්ම වැදගත් වේ. ඇප නීතියට අදාළව ඉහත දක්වන ලද වැදගත් කාරණාවන්ට අමතරව තව විශාල විෂය ක්ෂේත්‍රයක් ඇප නීතියට අදාළ වේ. එහෙත් බොහෝදුරට ප්‍රචලිත දුර්මත සම්බන්ධයෙන් ඉහත පැහැදිලි කිරීම ඵලදායී වනු ඇතැයි සිතමි.

Facebook Comments