web tracker

කෑම ඉතුරුකළ නිසා පොලිසියෙන් දඩයක්

මම ඉන්දියාවේ ඉඳලා ජර්මනියේ හැම්බර්ග් නගරයේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා පැමිණි මුල් දවසේ, හැම්බර්ග් නගරයෙහි ජීවත්වෙන මගේ මිතුරන් කීපදෙනෙක් එක්තරා ආපන ශාලාවකදී මට පිළිගැනීමේ සාදයක් සංවිධානය කරලා තිබුණා. අපි ආපන ශාලාවට ඇවිත් වටපිට බලද්දි එහි වැඩි සෙනඟක් පේන්න හිටියේ නෑ. එහි තිබූ මේස සෑහෙන ප්‍රමාණයක් හිස් බව අපි දැක්කා. ඒ වෙලාවේ තරුණ යුවළක් එක තැනක ආහාර ගනිමින් සිටියා. ඔවුන්ගේ මේසයේ ජාති දෙකකින් කෑම වර්ග දෙකක් හා බීමට ගත් බීර බඳුන් දෙකක් පමණයි තිබුණේ. මේ රටේ හැටියට ඒ වගේ ආදරණීය, රොමැන්ටික් අවස්ථාවකට ඒ වගේ සරල රාත්‍රී ආහාර වේලක් ගැලපෙනවාදැයි මම පුදුමයට පත්වෙලා කල්පනා කලා.

ඊට ටිකක් එහායින් තවත් මේසයක මැදිවියේ කාන්තාවන් කිහිප දෙනෙකු කෑම ගෙන අවසන් වී සතුටු සාමිච්චියේ යෙදෙමින් සිටියා. වේටර් විසින් ඔවුන් සඳහා ලබා දුන් සියළුම ආහාර ඔවුන් විසින් අනුභව කර තිබූණු අතර ඔවුන්ගේ පිගන් මත කිසිවක් ඉතුරුවී නොතිබිණා. අපි ඔවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකර ඒ වෙලාවේ අපේ බඩගින්න තරමක් වැඩිවී තිබුණ නිසා මගේ මිත්‍රයා විසින් අපහට තරමක් විශාල ආහාර ප්‍රමාණයක් ඇනවුම් කරණු ලැබුවා.
ඒ වෙලාවේ අවන්හලේ වැඩි පිරිසක් නොසිටි නිසා අපි ඇනවුම් කල ආහාර ඉක්මනින් ඔවුන් අපට ලබාදුන්නා. අපි ඉක්මනින් ආහාර ගෙන හොඳට බඩ කට පුරවගෙන අවන්හලෙන් පිටවීයාමට සූදානම් වන විට අප ඇණවුම් කර ලබගත් මුළු ආහාර වලින් තුනෙන් එකක් පමණ ඉතිරි වී තිබුණා.

මිතුරා විසින් සියළු මුදල් ගෙවීමෙන් පසුව අප අවන්හලෙන් පිටව යාමට සූදානම් වූ විට යම් කෙනෙකු අපව අමතන හඩක් ඇසුනා. අවන්හලේ අයිතිකරුවන් සමග මම කළින් සඳහන් කළ මේසයේ සිටි කාන්තාවන් අපි පිලිබඳව ඔවුනට යමක් පවසන බව අපට තේරුම් ගියා. ඔවුන් ඉංග්‍රීසියෙන් අපව අමතා, අපි විසින් ඇණවුම් කළ බොහෝ ආහාර, ආහාරයට නොගෙන මෙලෙස නාස්ති කිරීම ගැන ඔවුන් නොසතුටට පත්වෙන බව අපි සමඟ කියා සිටියා.
“අපි ඇණවුම් කළ ආහාර සඳහා අපි සම්පූර්ණ මුදල් ගෙවනු ලැබුවා… ඒ නිසා අපි ඉතිරි කළ ආහාර ගැන හොයන එකවත්, ඒ ගැන දුක්වෙන එකවත්, ඒක ගැන අපෙන් ප්‍රශ්ණ කරන එකවත් ඔයාලට අදාල වැඩක් නෙවෙයිනේ…” කියලා මගේ මිත්‍රයා ඔවුනට පැවසුවා. මිතුරා එහෙම කිව්වාට පස්සේ ඒ කාන්තාවන් අපිත් එක්ක කෝපයට පත්වුනා. එක කාන්තාවක් වහාම ඇයගේ දුරකථනය ගෙන යම් කෙනෙකුට ඇමතීමක් කළා.

මේ කළබල අතරේ මිනිත්තු කිහිපයක් යනකොට නිළ ඇඳුමින් සැරසුණු සමාජ ආරක්ෂක අංශයක නිලධාරින් දෙදෙනෙක් එතනට පැමිණියා. අපි දෙගොල්ලන් අතර ඇතිවී තිබෙන ආරවුල කුමක්දැයි ඔවුන් දැන ගැනීමෙන් අනතුරුව නිළධාරීන් අපට යුරෝ 50 ක දඩ කොලයක් නිකුත් කළා. අපි නිෂ්ශබ්දව සිටි අතර මාගේ මිතුරා විසින් යුරෝ 50 ක නෝට්ටුවක් ලබාදී නිලධාරින්ගෙන් සමාව ඉල්ලා සිටියා.

පසුව එක් නිලධාරියෙක් මගේ මිත්‍රයාට ඉතා තදින් මෙසේ පැවසුවා. “ඔබ ඔබට පරිභෝජනය කළ හැකි දේ පමනක් ඇනවුම් කරන්න. මේවට ගෙවන සියළු මුදල් ඔබගේ බව ඇත්ත. නමුත් මේ සියළු සම්පත් මුළු සමාජයටම අයිතියි. ලෝකයේ බොහෝ රටවල බොහෝ දෙනෙක් සම්පත් හිඟයකට මුහුනදී සිටිනවා. මේ රටේ සම්පත් නාස්ති කිරීමට ඔබට කිසිම අයිතියක් නෑ.”

“අපි බෙහෙවින් ලැජ්ජාවට පත්වුනා. අපේ මුහුණු රතු උණා. අපි සියලු දෙනා අපේ හදවත් වලින්ම ඔහු කියූ දේ සමග එකඟ වූණා. මෙම පොහොසත් රටෙහි ජනතාවගේ මානසිකත්වය අප සියලුදෙනාවම ලැජ්ජාවට පත් කළා. ඇත්තෙන්ම අපි මේ ගැන දෙවරක් සිතා බැලිය යුතුයි. මගේ මිතුරා විසින් දඩපතේ පිටපත් රැගෙන මතක සටහනක් වශයෙන් අපි සියළු දෙනාටම පිටපතක් බැගින් ලබා දුන්නා. එම දඩපතේ පිටපත හැම වෙලාවකම, මොනම රටකවත් සම්පත් නාස්ති නොකලයුතු බව අපිට නිතරම මතක් කර දෙනවා…”

උපුටා ගැනීම ‘ජර්මනියේ ආහාර නාස්ති කරන්නන් හට දඬුවම්’… යනුවෙන් ඉන්දියාවේ ටාටා සමාගමේ හිමිකරු රතන් ටාටා විසින් ඔහුට මුහුණපාන්නට සිදුවූ සිද්ධියක් පිළිබඳව ඔහුගේ ට්වීටර් ගිණුමේ කළකට ඉහත දමා තිබූ පණිවිඩයකිනි….

– ධම්මික සමරතුංග –

Facebook Comments