web tracker

සිලෝන් ටී බාල වීමෙන් අපනයන තේ මිල අඛණ්ඩව තුන්වන මසටත් පහළ වැටේ

උසස් තත්වයෙන් නිපද වූ සිලෝන් ටී වර්තමානය වන විට තත්ත්වයෙන් අඩු නිශ්පාදන බවට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන තේ කිලෝග්‍රෑම් එකක් සදහා ලැබෙන මිල අඛණ්ඩව තුන්වන මසටත් පහත වැටේ. ජුලි මාසයේ අපනයන මිල තව තවත් පහත වැටෙමින් පවතී. මෙරට තේ නිශ්පාදනයෙන් ප්‍රධාන වශයෙන්ම නිශ්පාදනයට දායක වන්නේ කුඩා තේ හිමියන් වන අතර ඔවුනට අවශ්‍ය පොහොර,කෘෂි රසායන නොලැබී යාම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇත. මේ හේතුවෙන් තේ සදහා ලැබෙන මිල අඛණ්ඩව පහළ වැටීම වැළැක්වීමට නම් තේ වගාව සදහා රජය සතුව පවතින පොහොර වගාකරුවන්ට ලබාදිය යුතුය.

තවද හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසන පරිදි අපනයන ආදායමේ හදවත බඳු තේ වගාව රැක ගැනිම සඳහා පොහොර සහ කෘෂි රසායන ආනයන තහනම පිළිබඳව වහා නැවත ඇගයීමක් සිදු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ලදී.

මේ තත්ත්වය යටතේ පහතරට තේ වගාවේ අස්වැන්න සහ ගුණාත්මක බව පහත වැටීම,කඳුකර තේ වගාවට අවශ්‍ය පොහොර නොමැතිවීම සහ අමතරව බ්ලයිට් රෝග ආසාදනයට ලක් වී ඇත. මේ රෝග සඳහා නිශ්චිත නිර්දේශිත කෘෂි රසායන නොමැති වීම නිසා අස්වැන්න අඩු වීම පමණක් නොව තේ ගස් පරිහානි තත්ත්වයට ද පත්ව ඇත. වතු සමාගම් සතුව පොහොර සහ කෘෂි රසායනික පැවතුණ ද කුඩා තේ වතු හිමියන්ට මේවා නොලැබේ. මේ කෙසේ වෙතත් කුඩා තේ වතු හිමියන්ට සහ වතු සමාගම් වලට හිමිවනුයේ එකම වෙළෙඳපොළකි. මේ හේතුවෙන් බාල තේ නිශ්පාදනය බහුල වීම මත තේ මිල පහත යාම ආරම්භව ඇත.

කෘෂි රසායනික තහනම හේතුවෙන් කෘෂි නිශ්පාදනවල තත්තවය ගැටලුකාරී බවට වර්තමානයේදී පත්ව ඇත. මෙරට කෘෂි නිශ්පාදනවලට අත්‍යවශ්‍යම අමුද්‍රව්‍ය වන පොහොර සහ කෘෂි රසායන තහනම හේතුවෙන් එළවළු,පළතුරු,මල් වර්ග සහ කුරුඳු ඇතුළු බොහොමයක් අපනයන බෝගයන්වල නිශ්පාදන තත්ත්වය මේ වන විට පහත වැටී ඇති බව තෙන්නකෝන් මහතා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

Facebook Comments